රිචර්ඩ් ලයනල් ස්‌පිටල්
හෙවත් වැදි මිතුරා
අපේ රටේ ආදිවාසීන් පිළිබඳ කතාකරන ඕනෑම අයෙක් රිචර්ඩ් ලයනල් ස්‌පිටල් ගැනද කතා කළ යුතුමය. මක්‌නිසාද යත් ඔහුතරම් ආදිවාසීන් ගැන වෙහෙසුන වෙනත් පිටරැටියෙක් අපේ රටේ නොසිටි නිසාය. පිටරැටියන් අපේ රටට ආක්‍රමණිකයන් ලෙස කඩා වැදුනත් ඔවුන්ගෙන් සම්භවය ලැබූ අපේ රටේ ජීවත්වූ බොහෝ පිරිස් අපේ රටට කළ සේවය අප විසින් අමතක නොකළ යුතුය. වෛද්‍ය ස්‌පිටල් ද එසේ අමතක නොකළ යුතු පුද්ගලයෙකි.
වර්ෂ 1760 දී පමණ ලංකාවට ආ අප කවුරුත් හොඳින් දන්නා ආර්. එල්. ස්‌පිටල් තම ළමාවිය ගත කළේ සිය පියා සමගය. පියාද වෛද්‍යවරයෙකි. තංගල්ලේ, පුත්තලමේ හා කුරුණෑගල සේවය කළ සිය පියා සමඟ දුරබැහැර සංචාරයේ යෙදීමටද ස්‌පිටල්ට අවකාශ ලැබිණි. ඒ සිය පියා සමගය. ස්‌පිටල් රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තියම තෝරාගත් අතර පසු කලෙක උසස් අධ්‍යාපනය පිණිස ලන්ඩන් බලා ගියේය. එහිදී උසස් ලෙස වෛද්‍ය විභාගය සමත් වූ ස්‌පිටල් කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවයට බැඳුනි. ඔහුට නිවාඩු ලද හැමවිටම ඔහු ගියේ ගණ කැලෑ සහිත ප්‍රදේශවල සංචාර සඳහාය. මේ ගමන්වලදී වැදි ජනතාව හෙවත් ආදිවාසීන් හමුවීමට ඔහු විශේෂ උනන්දුවක් දැක්‌වීය. තමන් මේ විනෝද සංචාර යනවිට ඊට සෑහෙන සේවක පිරිසක්‌ද කැටුව යැම සිරිතක් කරගත් ස්‌පිටල් නැගෙනහිර පළාතේ වැදි ජනයා වසන මහඔය, නුවරගල, නිල්ලඹ ආදී ප්‍රදේශවල නිතර සංචාරයේ යෙදුනි.
ඔහු රචනාකර ඇති ග්‍රන්ථයන්හි· වැදි ජීවිත රටාව පිළිබඳ පූර්ණ නිරීක්‌ෂණයක් සහිතව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඔහු එම වැදිගම්මානවල ජීවත්වූ බව කියෑවේ. එසේම එම වැදි ජනතාව ස්‌පිටල් දොස්‌තර මහතාට මහත් සේ ගෞරවාදරය කළ බවද පෙනේ. ඔහුගේ කෘතියක් වන ඉතා ප්‍රසිද්ධ "Savage Sanctuary" නම් ප්‍රබන්ධය වැද්දන් පිළිබඳ ඉතා හොඳ නිර්මාණාත්මක රචනාවක් බව කිව යුතුය. මේ සඳහා ඔහුට විස්‌තර සපයා ඇත්තේ වැදිජනතාව විසින්ම බවත්· කියෑවෙන අතර, ඔහු වැදි ජනතාව අතරට ගිය විට ඔවුන් සමඟ ජීවත් වෙමින් ඔවුන්ගේ ලෙඩට දුකට පිහිට වෙමින් කටයුතු කරයි. මීට වැදි ජනතාව බොහෝ කැමතිය.
ආර්. එල්. ස්‌පිටල් මහතා සමාජ අත්දැකීම් හා ජීවන රටා ආදියත් අපේ රටේ පරිසරයත් විද්‍යාත්මකව නිරීක්‌ෂණය කරමින් ලියන ලද උසස්‌ම කෘතියක් ලෙස "Wild White Boy" හැඳින්විය හැකිය. මෙහි කතාව දිගහැරෙන්නේ දෙවන රාජසිංහ රජුගේ පාලන කාලය හරහාය. ඉතා රසවත් ලෙසින් සිද්ධි ගලපා කියවන්නා තුළ කුතුහලය ඇතිවන පරිදි මෙය රචනා කර ඇත. පසු කලෙක "සුදු වැද්දා" නමින් සිංහලයට පෙරලුනේ ඒ රසවත් නවකතාවයි. මෙම රචනාවලදී ස්‌පිටල් ඒ සඳහා මිඩංගුවූ චරිතවලට දමන ලද්දේද වැදි නම් සහ ගම්ය. කතාව රසගැන්වීම සඳහා ඔවුන්ගේ මගුල්තුලා ආදිය ගැනත් කෑම බීම ගැනත් දඩමං ගැනත් ගොවිතැන් ආදී කටයුතු ගැනත් විස්‌තර ඉදිරිපත් කරයි. මේ සියල්ල සිදු කරන්නේ ආවාට ගියාට නොව ඉතාමත් කටුක ලෙස අත්දැකීම් ලබා ඒ ඔස්‌සේ යමින්ය. වරක් මේ කැලෑගමන් නිසා ඉතාමත් දරුණු ලෙස මැලේරියාව වැළඳුන ස්‌පිටල් එයින් මහා දුකක් වින්ද බවද ප්‍රකාශ කර ඇත. ඒ කොතරම් බාධක පැමිණියත් වැදි ජනතාව සමග ඇති තම සම්බන්ධය කිසිවිටකත් ඔහු දුරස් කිරීමට හේතුවක් නොවීය.
ආර්. එල්. ස්‌පිටල් මහතා වැදිජනතාව සුවපත් කිරීම සඳහා මහා වෙහෙසකර කටයුතුවල නියෑලුනි. එසේම සමහර අවස්‌ථාවල මහවැලි ගඟදිගේ ඔරු පදිමින් හැතැප්ම ගණන් මඟ ගෙව්වේ. ඔහු තුළ ආදිවාසීන් කෙරේ තිබූ අකලංක කාරුණික හැඟීම් නිසාය. මේ ගිය ගමන්වලදී ඔවුන් සමඟ එකට සිටි ස්‌පිටල් මහතා ඔවුන්ගේ අල බතල තම කුසගිනි නිවීම සඳහා යොදා ගත්තේය. ඔවුන්ද සිදාදියෙන් එන තම හිතවත්, මහ හූරාට ඉතාමත් ආදරණීය ලෙස සැලකුවෝය. මේ බැඳීම ඉතාමත් ශක්‌තිමත් වූ අතර සමහර වැද්දන් ස්‌පිටල් මහතා සොයා කොළඹට පවා ආවේය. ඒ ඔවුන් තුළ තිබූ නොබිඳෙන බැඳීමයි.
ස්‌පිටල් මහතා 1924 දී පමණ ප්‍රකාශයට පත්කළ "Wild Ceylon" නම් කෘතිය මහත්සේ ජනාදරයට පත්වූයේ එහි ඇති අව්‍යාජ ගුණය නිසාවෙනි. මේ පොතින් සංචාර, වැද්දන් පිළිබඳ විස්‌තර ගොවිතැන් කටයුතු ආදිය පිළිබඳ විවරණය වී ඇත. ශල්‍ය වෛද්‍යවරයකු මෙතරම් සාහිත්‍යකරණයට ලොල් වූයේ කෙසේදැයි? යන්න ප්‍රශ්නයක් මුත් ඔහු තුළ තිබූ නිර්මාණශීලී ගුණය ඒ හැමෙකක් අබිබවා ගිය බව කිවයුතුය. ස්‌පිටල් මහතා කවි රචනයෙහිද දක්‌ෂයෙකි. ඔහු රචනාකොට පළ කරන ලද "leaves ot the jangle" නම් කෘතිය ඊට හොඳම නිදසුනයි.
සමාජ සේවයටද කැපවූ ස්‌පිටල් මහතා වනය ගැන, වනගත ජීවිත ගැන, හා වැද්දන් ගැන දේශනද පැවැත්වීය. කොළඹ නගර සභාව සම්බන්ධ කරගනිමින් පවත්වන ලද සමහර දේශන සඳහා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාද සහභාගි වූ බව කියෑවේ. මේ සාමූහික එකතුව නිසා ලංකාවේ තුරුලතා හා වන සත්ව ආරක්‌ෂක පනත සකස් වූ බවට තොරතුරු හෙළිවේ. අද අප නරඹන "විල්පත්තු ජාතික වනෝද්‍යානය" බිහිවූයේද ස්‌පිටල් මහතාගේ වෑයමක ප්‍රතිඵලයක් ලෙසින් බව කියෑවේ. මේ වනාන්තර හා සම්බන්ධ වූ වැඩසටහන් නිසා වනසත්ව දෙපාර්තමේන්තුවක්‌ද අපේ රට තුළ බිහිවිනි. වනයත් වනයේ ඇති සෞන්දර්යයත් මනාසේ එකතු කොට අලංකාරමය රචනා බිහිකළ ස්‌පිටල් මහතා අපේ රටේ සංස්‌කෘතියට මෙන්ම සාහිත්‍යයටද කළේ ඉමහත් සේවයකි. පිටරැටියකු වුවත් තමා වාසය කළ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනදුන් මේ ශල්‍ය වෛද්‍යවරයා අපේ රටේ "ක්‍ෂාක්‌ෂරතාව වෙනුවෙන්" කළ සේවය අමරණීයය. අදත් අපට අපේ පාසල් සිසුන්ට ගේමිරා, කළුකුමී, පොරමලා, හඳුනා, රන්දුනා, ගෝඹී වැනි නම් මතකයේ ර¹ ඇත්තේ ස්‌පිටල් මහතාගේ රචනා ශෛලියේ ඇති සිත්ගන්නා සුළු බව නිසාය. වැද්දන් ජීවිතයට දැක නැති අයෙකුට වුවද ආර්. එල්. ස්‌පිටල් මහතාගේ පොතක් කියවූ සැනින් ඔවුන් පිළිබඳ සිතේ රූ ඇඳෙන්නේ කතා විලාශයේ ඇති චමත්කාරය නිසාය. අදත් වැදිපත්තුවේ ජනතාවට ස්‌පිටල් මහතාගේ රූප කාය හොඳින් මතක ඇත. ඒ පරපුරේ මුනුබුරු මිනිබිරියෝද රූපය වශයෙන් ස්‌පිටල් මහතා දැක නැතත් අසා දැනගත් රූපකාය මගින් ස්‌පිටල් මහතා නිර්මාණය කරගනිති.
ධර්මරත්න තෙන්නකෝන්
No comments:
Post a Comment