සිත සුවපත් නම් මුහුණත් ලස්‌සනයි
ඔබ ගන්නා ආහාරයෙන් පළමු කොටස සතෙකු සඳහා වෙන්කරන්න, ඔබ වෙනුවෙන් ආහාර පිළියෙළ කළ අයට, ආහාර සපයා දුන් අයට, භෝග වගා කළ අයට, ඒවා වෙළෙඳපල වෙත ගෙන ආ අයට පවා සිතින් සෙත් පතන්න. යමෙක් ඔබට ආහාරයක් හෝ යමක් පිරිනැමූ විට බොහෝම ස්‌තුතියි යෑයි මුව පුරා පවසන්න. ඔබ බෞද්ධයෙකු නම් බොහොම පිං යෑයි පවසන්න.
ආහාර පිළියෙළ කරන ගෘහණිය ඔබ නම් මෙත් සිතින්ම ආහාර පිළියෙළ කරන්න. මේ ආහාරය මාගේ පවුලේ සියළු දෙනාට දිව්‍යමය ආහාරයක් වේවා මෙයින් ඔවුන්ගේ ආයුවර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. දීර්ගායුෂ ලැබේවා වැනි මෙත් සිතිවිලි වලින් යුතුවම ආහාර පිසින්න.
ඔබ පිසූ ආහාරය පිළිගන්වන විට පවා එලෙස සිතන්න. උදෑසන තේ කෝප්පය පිළිගන්වන විට පවා ඔබට සැමියා හෝ දරුවන් වෙත මෙත් සිතිවිලිද තිළිණ කරන්න.
බස් රථයේ හෝ පෞද්ගලික වාහනයේ නැගී දෛනිකව රැකියාවට එනවිට ඔබ පසුකර යන, ඔබට හමුවන මිනිසුන්ට සෙත් පතන්න. සුවිසල් මන්දිර වල වෙසෙන මිනිසුන්ටද මහමග යදින මිනිසුන්ටද සම සිතින් මෙත් වඩන්න.
රැකියා ස්‌ථානයේ සිටින සියලු දෙනාගේ ජිවිත ආලෝකමත් වේවායි මෛත්‍රී කරන්න. ඔබගේ ජීවිතයට ලබාදෙන සහය වෙනුවෙන් රැකියා ස්‌ථානයට සෙත් පතන්න. නිලධාරින්ට හෝ හිමිකරුවන්ටද සෙත් පතන්න.
ඔබ මසන ඇඳුමෙන් එය අදින්නා වඩා රූමත් හා ප්‍රසන්න අයකු වේවා සිතන්න.
ඔබ ලියන පොත කියවා අන් අයගේ ජීවිත සුත මුදිත වේවායි පතන්න.
ඔබේ රූපලාවණ්‍ය උපදෙස් පතනවුන්ගේ පෙනුම දිනෙන් දින වැඩි දියුණු වේවායි පතන්න.
ඔබ විකුණන භාණ්‌ඩ හෝ සේවාව මිලදී ගන්නාගේ ජීවිතයට අනන්ත සුවය හා සතුට පතන්න.
ඔබ ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර වලින් ජීවිත අනන්ත සුවපත් භාවය ලබත්වායි සිතන්න.
ඔබ කුමන තරාතිරමක
රැකියාවක් කළද ඔබේ ක්‍රියාවන් සමග මෛත්‍රීය නිසි පදමට මුසුකරන්න.
ඔබගේ හද රිදවන අපහාසාත්මක දෑ පවසන මිනිසුන්ටද, ඔබ බිම වැටෙන තුරු බලා සිටින්නන්ටද ඔබට පහර දීමට උත්සහ දරන හෝ ඔබ සතු දේ පැහැර ගැනීමට මානන මිනිසුන්ටද මෙත් වඩන්න. ද්වේශයෙන් රත් වූ මිනිසුන්ගේ සිත් මෛත්‍රීයෙන් සිසිල් වේවායි පතන්න.
ඔබ මුව තුළින් ගන්නා ආහාරය කිසිවෙකුගේ ජීවිත අයිතියක් පැහැර නොගත් එකක් වන බවට වග බලාගන්න.
ඔබ අතට ගන්නා මුදල කිසිවකුට වංචා කිරීමෙන් හෝ කිසිවෙකුට රිදවීමෙන් ගත්තක් නොවන බවට වග බලාගන්න.
ඔබේ මුවින් පිටවන වචන සිත නිවන ඒවා මිස සිත් දවන ඒවා නොවන බවට වග බලාගන්න.
මෙත්තානිසංස (මෛත්‍රීයේ අනුසස්) සූත්‍රයෙහි පවසන පරිදි ඔබගේ සිත තුළ මෛත්‍රිය වස්‌තුවක් මෙන්
රැකගන්න. බහුලව භාවිත කරන්න. බහුලව වඩන්න, යානාවක් මෙන් හුරු පුරුදු කරන්න.
මෙලෙස ජීවිතය තුළ නිතර මෛත්‍රී භාවයන් වැඩීමෙන් පහත සඳහන් ප්‍රතිලාභ එකොලහ (11) ලබාගත හැකිය
සුවසේ නිදන්නට , සුවසේ අවදිවීමට, නපුරු සිහින නොදැකීමට, අමනුෂ්‍යයින් අතර පවා ප්‍රියවීමට, දෙවියන්ගේ ආරක්‌ෂාව ලැබීමට, ගින්නෙන්, වසවිස, ආයුධවලින් හානි නොවීමට, සිතේ සන්සුන් බව ඇතිවීමට, මුහුණ පැහැපත් වීමට, සිහියෙන් අවසිහියෙන් තොරව මරණයට මුහුණ දීමට , මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට
මෛත්‍රීය එතරම්ම ප්‍රබලය, එසේ ජීවිතයේ සියලු ප්‍රශ්නවලට විසඳුම ලැබෙයි.
එනිසා මෛත්‍රී භාවනාව ජීවිතය සමග බද්ධ කරගනිමින් ජීවිතය දිනාගන්න
අනාගතයේ අපට මුහුණ දීමට සිදුවන බව පැවසෙන ලෝක විනාශයේදීද මෙය කදිම හා ප්‍රබල ආරක්‌ෂක ක්‍රමයක් වනු නියතය.
No comments:
Post a Comment